පළමු ලෝක යුද්දය නිම වී කලක් ගත වී තිබිණි. යුද්දයෙන් මිය ගිය පුතුන් වෙනුවෙන් අම්මාවරුන් තවමත් වැළපෙමින් සිටියදී, අහඹු වරමකින් දිවි බේරී යුද පිටියෙන් නික්ම ආවුන් රණවිරුවන් සේ ඇගයුම් ලැබූ සමය ද කෙමෙන් කෙමෙන් නික්ම යමින් තිබිණි. වීර පදක්කම්, සම්මාන, තරුපටිවල දීප්තිය ගිලිහි යමින් තිබිය දී, ගෞරවාන්විතව හමුදා සේවයෙන් නිදහස් වූ ටොම් ෂර්බෝන් තරුණ රණවිරුවා, ඕස්ට්‍රේලියානුවා උපන් ගම් පියසෙන් බොහෝ දුර බැහැරක ප්‍රදීපාගාර භාරකරුවකු ලෙස රැකියාවක් සඳහා ස්වයං පිටුවහලකට නික්ම ආයේය.
එකී ගමනේ දී ඔහු හමුවන ඉසබෙල්, යෞවනයේ උදාරතර දීප්තියෙන් නැහැවී ගිය යුවතියකි. මිනිස් වාසයෙන් තොර, ගොඩබිමෙන් සැතපුම් ගණනාවක් එපිටින් ඇති හුදකලා දූපතක ප්‍රදීපාගාර භාරකරුවකුගේ පෙම්වතිය සහ ඉනික්බිති ආදර බිරිඳ වන්නට ඈ ගන්නා තීරණය ඇගේ ජීවිතය කුමන අරගලකාරී, අභියෝගාත්මක ඉසව්වකට රැගෙන යාවි ද?
![]() |
| The Light between Oceans චිත්‍රපටයේ දර්ශනයක් |
ප්‍රේමය මෙන්ම යුද්ධය ද සදාකාලික නොවේ. ප්‍රේමයෙන් සාමය උදා වීම නිසැක කරුණකි. නමුත් යුද්ධයෙන් සාමය උදා කරගත හැකි ද? පශ්චාත් යුද සමයන්හි අළු යට සැඟවුණු ගිනි පුපුරු හඳුනා ඒවා නිවා දමන්නට අවංක උත්සාහයක් නොදරන්නේ නම්, යුද්ධය නිමාවුවද යම් සමාජයක සැබෑ සාමයක් උදා කරලීම සිහිනයක් පමණි.
හැනා දිනූ ප්‍රේමය ෆ්‍රාන්ස් යොහැනස් රොන්ෆෙල්ට් ජර්මානුවකු වීම ඔහුගේ වරදක් ද? ඇයගේ වරදක්ද? ප්‍රේමයේ වරදක් ද? සාම්ප්‍රදායික සමාජ බැඳීම් පසෙකලා, සියලු විරෝධතා පසෙක ලා දෙදෙන එක්තැන් වන්නේ ලෝක යුද්දයක් ඇවිළවූ ජාතිවාදයට වඩා ප්‍රේමය බලවත් වූ බැවිනි. එකී ප්‍රේමයේ ඵලය පුංචි ග්‍රේස් ය.
නමුත් යුද අනුස්මරණය උත්සවාකාරීව පැවැත්වෙන එක් දිනයක අළු යට සැඟව පැවති ජාතිවාදයේ ගිනි පුපුරු නැවත ඇවිලී, ලැව් ගින්නක්ව නැගී එන්නේ තැබෑරුමක් තුළිනි. මත් වූ හිත්වලට තව තවත් මත්වන්නට, මත් වී විකල්වන්නට ජාත්‍යාලය ද හොඳ මධු ඔඩමකි. සැකය, අවිශ්වාසය ඇති තැන බැඳීම් සුණු විසුණුව යන්නේ අසුරු සැණෙනි. ඉතින් ඇවිළෙන්නට වැඩිමනත් යමක් උවමනා නොවේ. ඒ ඇවිළෙන ජාතිවාදී ගින්න රොන්ෆෙල්ට් වෙතට මරු විකාරෙන් ළඟා වන මොහොතේ ඔහු හබල් ඔරුවකට නැගී සාගර ගැඹුරට ඇදී යන්නේ සිය සිඟිති බිළිඳිය ග්‍රේස් ද සමඟිනි.
පශ්චාත් යුද සමය මනුෂ්‍යත්වය නගා සිටුවනු පිණිස, එකිනෙකා අතර විශ්වාසය තහවුරු කරනු පිණිස, අතීත තුවාල සුවපත් කර නිවීම සැනසීම උදා කරනු පිණිස කටයුතු කොට තිබුණේ නම් ?
ජානුස් ගලේ ප්‍රදීපාගාර භාරකරුගේ බිරිඳව එහි යන ඉසබෙල් තෙවන වරටත් දරුවකු පිළිබඳ අපේක්ෂා ගිළිහී ගිය දැදුරු හදින් පීඩිතව සිටින මොහොතකය ඒ බිළිඳු හඬ ඈ සිසාරා රැව් දෙන්නේ. සැතපුම් ගණනාවක් දුරට කාත් කවුරුත් නැති මහා සාගරයක තනි වූ කුඩා දූපතකට කොහෙන්ද ඒ බිළිඳු හඬ?
විමසිලිමත් වන ටොම් ෂර්බෝන් දකින්නේ මිය ගිය මිනිසකු සහ සිඟිත්තියක සමඟ වෙරළට ගොඩ ගසා ඇති හබල් ඔරුවකි.
නීති, නියෝග, අණ පණත් සියල්ල බැහැර කරන ඉසබෙල් ඒ කුඩා දියණියට මව්වීමට තමන්ටම ප්‍රතිඥා දෙයි. මේ අතර ජානුස් ගලෙන් දුර බැහැර පාටේජස් තුඩුවේ බිළිඳියගේ සැබෑ මව හැනා රොන්ෆෙල්ට් තම ස්වාමියා ද, දියණිය ද අහිමි වූ ශෝකයෙන් උමතුවන්නට ආසන්නව කඩා වැටී සිටියාය. ඇත්තෙන්ම අරගල, යුද්ධ, කලකෝලහාල මැද වඩාත් අසරණ වන්නේ ද, පීඩාවට පත්වන්නේ ද, දුක් වේදනා උහුළන්නේ ද ගැහැනුන් සහ දරුවන් ය. යුද්දය පිරිමින්ට අභිමානයේ උරගලක් වන විට එය ගැහැනුන් සහ දරුවන් මත පතිත වන්නේ වේදනාවේ කටුඔටුන්නක් ලෙසිනි.
ටොම් ෂර්බෝන්, ඉසබෙල්, හැනා රොන්ෆෙල්ට්, පුංචි ග්‍රේස් ලුසී ඔවුන්ගේ ඉරණම කුමනාකාර වනු ඇත්ද?
තවමත් පොතක් කියවා හඬන්නට හැකි බව මෙහි අවසන් පිටු කිහිපය කියවන අතර තදින්ම දැනිණි. මා සිතා සිටියේ ඒ කඳුළු දැන් අහවරව ඇති බව ය. නමුත් ‘‘සාගරාන්තර ආලෝකය‘‘ කියවා නිම වන විට මා සිටියේ හැඬු කඳුළිනි. එය එතරම්ම සංවේදී කතාවකි.
උපුටා ගැනීම සාගරාන්තර ආලෝකය පරිවර්තනය ඇසුරිනි.
උපුටා ගැනීම සාගරාන්තර ආලෝකය පරිවර්තනය ඇසුරිනි.








